Tuesday, July 14, 2015

     බොරඳියෙන් නිල් දියට


 

                   මෙලොව ජනිත වන අන්  ඕනෑම සත්ත්‍වයෙකු මෙන්ම මිනිසාද ජීව විද්‍යාත්මක වශයෙන් කිසියම් බෙඳිමකට ලක්කර ඇත. පුමිතිරි භාවය හෙවත් ස්ත‍්‍රී පුරුෂ බව ලෙස හඳුන්වනු ලබන්නේ එම බෙඳීමයි. නමුත් මානව සමාජය තුළ ගොඩ නැගී ඇති අහේතුක සමාජ  පිළිගැනීම් හමුවේ ස්ත‍්‍රී පුරුෂ භේදය වර්ධනය වී ඇති ආකාරයක් පෙනී යයි. ආසියානු කලාපය තුළ සංස්කෘතික පදනමට සිරිවී මෙම තත්වය වඩාත් උග‍්‍ර ලෙසින් හඳුනා ගැනීමට හැකිවේ.සකල විධ පුරුෂාර්ථයන්ට නතුවී බැට කන කාන්තාවන්ගේ භූමිකාව කිසිසේත්ම සාධු සම්ම ජන සමාජයකට ගොචර නොවේ.
                නවීන විද්‍යාව හා ජාතීන් පිළිබඳ ප‍්‍රශ්නය නම්වූ පරිවර්තන කෘතියෙහි විද්‍යාඥයින්ගේ පර්යේෂණ මත පදනම්ව ෙඡ්. එච් කෝල් බෲක් විසින් රචිත ලිපියක බුද්ධිය පිහිටා ඇතැයි සිතන මොළයේ ඉදිරිපස කොටසේ බර ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ෂවයේම එක හා සමාන බවත් එය මොළයේ මුලු බරින් 44‍් % පමණ වන බවත් සඳහන්ව ඇත. මෙය සැබෑවක් නම් ස්ත‍්‍රියගේ නුවණ හැඳිමිටේ වැනි කියමන් අප සමාජ ගතවූයේ කෙසේ දැයි විමසා බැලිය යුත්තකි. නමුතු මෙම යල් පැන ගිය වාගාලාප සමඟ හරඹ කිරීමට වඩා සමාජමය වශයෙන් කාන්තාවට දෙවැනි තැන හිමිවන්නේ මන්දැයි විමසා බැලීම වටී.
                අතීතෙයේ පටන්ම විවිධ සමාජ පිළිගැනිම් පාදක කොට ගෙන පුතාගේ වර්ධනය කෙරෙහි මොපියන් වැඩි අවධානයක් යොමු කරයි. ලංකාවේ ඇතැම් පළාත් වල පිරිමි දරුවාට බත් දංකුඩ නොදෙන අතර, පවුල් කුටුම්භය තුළ පවා අඩුලුහුඬුකම් වලට මැඳිවූයේ ගැහැනු දරුවායි. ආදිකාලීන භාරතිය ජනසමාජය තුළ පවා කාන්තාව අවතක්සේරුවට ලක්වු බව පුන පුනා කිවයුත්තක් නොවේ. මාවතේ නිරුපද්‍රිතව ගමනක් ගොස්  යළි පැමිණිය හැකිය යන විශ්වාසය පලුදු වූ යුගයක කාමාතුරයින්ගේ රස නහර පිනවන මාංෂ පිණ්ඬයක්සේ මිරිකී හපවූ කාන්තාවන් එදා මෙන්ම අදත් සිටී. නුතන සමාජයේ  කාන්තාව පුරුෂයා තරමටම සිය කාය ශක්තිය වර්ධනය කර ගනිමින් සෑම කාර්යයක්ම ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව කිරීමේ ශක්‍යතාවයෙන් සිටී. කාලයේ ඇවෑමෙන් තාක්ෂණය දියුණුවී කාය ශක්තිය වෙනුවට තාක්ෂණික ශක්තියද ආරෝපණ කරගනිමින් පහසුවෙන් කාර්යයන් ඉටුකර ගැනීමට මානවයාට හැකීවී ඇත. මෙම තාක්ෂණික  දියුණුව හමුවේ එතෙක් කාන්තාව තාය ශක්තිය අතින් පිරිමියාට පිටු පසින් සිටියද මේ වන විට දෙපාර්ශවයට සම තත්වයකට පත්ව ඇති බව කිව හැක.
            නමුත් පුරුෂාධිපත්‍ය හමුවේ ගැහැනිය නිවසට සීමා වීමක් දැකිය හැක. එංගල්ගේ වර්ණනාවන්ට අනුව අතීතයේ කාන්තාවන්ගේ සෞභාග්‍යමත් කාලයේදී පවා කාන්තාවන්ට නිවසේ ආධිපත්‍ය හිමිවූ බව සඳහන් කිරීම තුළින් ගම්‍ය වන්නේ ඇය එකලද ගෘහයට සීමා වී සිටියාය යන්න නොවේද? කෙසේ නමුත් නූතන විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවා විද්‍යාර්ථයින්ගෙන් අති බහුතරය පුරුෂයන් නොව ස්ත‍්‍රීන්ය. මේ අනුව කාන්තාවන් අධ්‍යාපනයෙහිලාද මුල්තැන ගෙන සිටින බව පෙනේ. කෙසේ නමුත් විවාහයෙන් පසු දරුවන් ලැබීමත් කරණකොටගෙන ඇය පවුල් කුටුම්භය තුළ වගකීම් පොදියකට සිරවී සිටී. මේත් සමගම ඇය රැකියාවට තිත තැබීමට පෙළඹෙන්නේ රස්සාවට නොව පරස්තාවට මුල්තැන දෙමිනි. ? පහන් වනතුරු පාඩම්කරමින් විභාග ජය ගෙන ලබා ගන්නා උපාධියට වටිනාකමක් තිබේද යන්න මෙහිදි මතු වන ගැටලුවයි. එසේම නෙක සමාජ පිළිගැනීම් හමුවේ කාන්තාවන්ගේ නිදහස පවා දුර්මුඛයට ඇඳදමා ඇති බව සඳහන් කළ යුතුය . රාත‍්‍රියෙහි කාන්තාවකට ගමන් කිරිමට සමාජය තුළින් නිදහස් අවකාශයක් ලබාදී නැත. මෙලෙසින් කාන්තාවක් රැයෙහි ගමන් කලහොත් ඇය වෙසඟනක් යැයිද අනාචාරයේ යන කාන්තාවක් යැයි සමාජයා විසින් හංවඩු ගසනු ඇත. තවත් දෘෂ්ටි කෝණයකින් බැලූ කල කාන්තාවකට තනිවම රාත‍්‍රීයෙහි පමණක් නොව දහවලෙහිපවා ගමන් කිරීමට නොහැකි තරම් කාමාෂවෙන් මැඩුණු මිනිස් වෙස් ගත් අමනයින් මඟතොට මාන බලමින් සිටී. මෙවැනි කාරණා පදනම් කොට ගෙන කාන්තාවන්ගේ නිදහස බිත්ති හතරකට කොටු වී ඇත. ඒ අනුව සමාජයේ කාන්තාවන් විෂයෙහිලා රෝපණය වී ඇති අනර්ථකාරී දෘෂ්ටීන් සිඳ බිඳ දැමීමට සියල්ලෝම වගබලා ගතයුතුවේ. කාන්තාවන්ට සම තැන ඉළ්ලා හඬ නඟන රාජ්‍ය නොවන සංවිධානවල නෝනලා හඬ නැඟිය යුත්තේ කාන්තාවන්ට සමතැන ගැනීමටද නිසි තැන ලබාගැනීමටද යන්න  සිතා බැලිමට කාලය එළඹ ඇත.








No comments:

Post a Comment